Related Posts Plugin for WordPress, Blogger...
හේ අපූරු මිනිසෙකි..නිර්ව‍යාජත්වය සරළ බව පසක් කර ගත් අයෙකි..සෑම අයෙකුටම තමුන්ටම අයත් ආවේනික අතීතයක් ඇත ...බොහෝ අය ඔවුන් ගේ සුන්දර සිදූවීම් හා ජීවිත අත් දැකීම් අන් අය සමග බෙදාහදා නොගනිති ..ප්‍රංශයේ වෙසෙන නාලක තුළින් අප දුටු අපූර්වත්වය නිසාම ඔහුට ස්වකීය මතකයන් අතර ඇති රසවත් දෑ අප ලංකානිව්ස් අඩවිය සමග ලියා බෙදාහදා ගන්නට ඇරයුම් කළෙමු .අප ලංකානිව්ස් අත්වැල් බැඳ ඇති ඔබට එම රසවත් මතකයන් වෙතට යාමට මෙතැන් පටන් අවකාශ සැළසේ.... ඔහුගේම රචනයෙන්

Popular Posts

Tuesday, February 19, 2019

ටවුන් හෝල් එක අමුතුම තැනකි..../ නාලකයාගේ මතකවස්තු 42 කොටස

ඉතිරි කිරීම ගැන දරුවෙකුගෙන් වැඩිහිටියෙකුට පාඩමක්.....
==========================================
උසස් පෙළ කාලය යනු පාසැල් ශිෂ්‍යයෙකුගේ ජීවිත මතක පොතේ විශාල පරිච්ඡේදයක් ලියවෙන කාලයකි. නාලකයාටද එය එසේමය. නාලකයා සාමාන්‍ය පෙළ ලිවීමට කලින් වසරේ එනම් 1983 ජූලි "කළු ජූලිය", නාලකයාගේ ජීවිතය අද මුහුණ පාන බොහෝ කාරනා වලට පාදම කිවහොත් නිවැරදිය. ඒ ගැන නාලකයා වෙනම ලියා ඇත. 
ඒ නිසා අප්පච්චීට නාලකයා ගැන හොයනවාට වඩා කටවල් හතරක් පුරවන්න ජීවිත සටනක් ගෙනියන්න සිදු වූයේ "කළු ජූලියෙන්" අපේ සියළුම කඩ සාප්පු "කොල්ල කා" තිබීම හේතුවෙනි. 40 දෙනෙකුගෙන් යුත් අප්පච්චිගේ සේවක පිරිසට වඩා අප්පච්චි අසරණ වී තිබිණ. එනමුත් හිරිමල් වියේ සිටි නාලකයා සිතුවේ එය නාලකයාට වල බහින්න දෙවියන් දුන් තෑග්ගක් ලෙසය. 
අම්මිගේ දැඩි නීතියකට යටත්ව සිටි නාලකයාට, පාසැල් නේවාසිකාගාරය පවා උසස් පෙළ වසර දෙකේදී සිසුන්ට අහිමි වීම ලොකු දෙයක් ලෙසද, එවක ලද භාග්‍යයක් ලෙසද දැණින. කුඩා සිසුන්ට වැඩි ඉඩ කඩක් දීමට, නේවාසිකාගාරය සාමාන්‍ය පෙළ සිසුන් දක්වා පැවැත්විය. උසස් පෙළ සිසුන් හට පිටත බෝඩිම් සොයා ගැනීමට සිදුවිය. නාලකයාව හිරකර තැබීමට අම්මී, ඇගේ පියාගේ බාලම සහෝදරයාගේ, එනම් නාලකයාගේ පොඩි සීයාගේ ගෙදරට නාලකයා ගාල් කළේය. 

නාලකයා උසස් පෙළ වසර දෙක ගත කලේ පොඩි සීයාගේ නිවසේය. මුලින්ම මාස කීපයක් ගල්කිස්සේ පොඩි සීයලාගේ ගෙදර සිට බසයෙන් පාසල් පැමිණි නාලකයා ඔවුන් එම නිවස විකුණා දමා රුක්මල්ගම නිවාස සංකීර්ණයේ නිවසක් මිලදී ගත්පසු එහි පදිංචියට ගොස් රුක්මල්ගම සිට පාසැලට ඒමට පටන් ගත්තේය. 

 "පබ්" එක ලෙසින් කොල්ලන් කෙල්ලන් අතරේ ප්‍රසිද්ධ Public Library එක යනු උසස්පෙල හා විශ්ව විද්‍යාල සිසු සිසුවියන්  පාඩම් කිරීමට "සෙට්"  වෙන තැනයි. කෙල්ලන් කොල්ලන් පවා එතනින් "සෙට්" වී අද වනවිට දරුමල්ලන් ලැබ සාර්ථක පවුල් ජීවිත පවා ගතකරයි.  ප්‍රසිද්ධ පාසැල්, ප්‍රසිද්ධ නොවන පාසැල් සහ දුර, ලඟ පාසැල් වල සිසුන් පවා පාඩම් කිරීමට "පබ්" එකේ "සෙට්" වූවද, ඔවුන් තම පාසැලේ එවුන් එක්ක නොව, එක ජාතියේ උන් එකට "සෙට්" වේ. නාලකයාටද "පබ්" එකේ පට්ට සෙට් එකක් සිටියේය. 

එකතු වී පාඩම් කරනවාට වඩා එකතු වී වල බැස්සා කීවොත් නිවැරදිය. එහි ප්‍රථිපලය නාලකයා උසස් පෙළ ඇන ගැනීමය. සාමාර්ථ (C) එකක් සහ සාමාන්‍ය සාමාර්ථ (S) දෙකක් පමණක් ගෙන නාලකයා උසස් පෙළ අසමර්ථ විය. දෙවන වර මුහුණ දුන්නත් එයද විශ්ව විද්‍යාල වරම් ලැබීමට තරම් ලකුණු ලැබූ ප්‍රථිපලයක් නාලකයාට අත්කර නොදුන්නේය. උසස් පෙලින් වසර 10 කට පසු රැකියාවේ නියුතු අවධියේ එවකට ඩුබායි හි සේවා ස්ථානයේ "බොස්" ගේ මගපෙන්වීමෙන් නාලකයා MBA එකක් දක්වා ඉගෙනගත් අතර, ඔහුත් සමග පෞද්ගලික ආරවුලක් හේතුවෙන් එක රැයින් ලංකාවට ගිය නාලකයා අදටත් ඔහුට වෛර නොකරන්නේ මෙම අධ්‍යාපන සුදුසුකම නාලකයාගේ ජීවිතයට ලබා ගැනීමට  ඔහුගෙන් ලද සහයෝගය  නිසාමය. 

මෙහි කතා නායකයා වන "කොටා" පන්නිපිටිය පැත්තේ කීර්තිමත් පාසැලක සිසුවෙක් විය. සෑම සෙට් එකකම, ඌ තමා පොර කියා සිතනා එකෙක් මෙන්ම, තොර තෝංචියක් නැතුව කියවන එකෙක් සහ ජෝකර් කෙනෙක්ද, කොටෙක්ද වේ. අපේ සෙට් එකේ මේ සේරටම හිමිකම් කිව්වේ "කොටා"ය. කොටා නාලකයාටද අන්ත ලෙස උසස් පෙළ ඇන ගත්තේය. ප්‍රථම වර, සියළුම විෂයයන් අසමත් වූ ඔහුගෙන් යමෙකු විභාග ප්‍රතිඵල ඇහුවොත් ඌ පිළිතුරු දෙන්නේද අමුතුම ක්‍රමේකටය. 

"එෆ් (F) දෙකයි, එෆ් (F) එකයි, (A) ඒ එකයි" යනුවෙනි. සියල්ලන්ටම පුදුමය. "යකෝ සබ්ජෙක්ට්ස් තුනක්ම ඇනගෙන ඒ එකක් ගත්තේ මොන සබ්ජෙක්ට් එකටද?" සැවොම විමසයි. 

"ඒකත් එෆ් තමයි බන්" යැයි සැහැල්ලුවෙන් පවසයි. 

"තෝ එහෙනම් ඒ එකයි කිව්වේ?" යනුවෙන් විමසූ විට, "උඹලානේ වරද්දගෙන තියෙන්නේ... මම ඒ ජාතියෙන්ම තවත් එකක් කියන්න තමයි, ඒ එකයි කිව්වේ.... හතරම ෆේල් වෙච්ච මට තියෙන මොලේවත් තොපිට නැහැනේ සාමාන්‍ය දෙයක්වත් තේරුම් ගන්න" කියා හෙමීට ලිස්සයි.

උසස්පෙලින් පසුව පාසැල් ගමන අවසාන වුවද, කෙල්ලන් සෙට් කරගන්න, ගෙදර ඉන්න බැරිකමට, වල බහින්න, පොත් පත්තර කියවන්න, ෆිල්ම් බලන්න යන්න වෙලාව එනකම්, මෙකී නොකී කාරණා වලට  "පබ්" එකේ කැන්ටිම  meeting point එක විය. සැවොම එතැනදී ගන්නා තීරණය අනුව ඉදිරිය ක්‍රියාත්මක කරයි.

මෙකී දවසේ අට දෙනෙකුගෙන් පමණ වු අපේ සෙට් එක විවිධ පාසැල් වල එවුන්ගෙන් සමන්විතව තිබිණ.... "පබ්" එකේ පිටිපස්සෙන් වැට පැන විහාරමහාදේවී පාක් එකේ ඇවිදගියේ "තොප්පියා" මුණගැසෙන තෙක්‍ ය. තොප්පියා යනු එවකට කොල්ලන් අතරේ ප්‍රසිද්ධ "ජොයින්ට්" විකුණන විහාරමහාදේවී පාක් එකේ අප්පුය. තම හිස පැළඳි තොප්පියේ පතුලේ ජොයින්ට් හංගාගෙන අලෙවි කරන නිසාම ඌ තොප්පියා විය.

ජොයින්ට් එකක් ඔතාගෙන හෙමීට ඒකත් පත්තුකරගෙනම පාර දිගේ ටවුන් හෝල් එක දෙසට එකිනෙකා බයිට් කරමින් ඇදුනේ 1.30ට කිට්ටු වූ නිසාය. ඒ එකෙකුගේ කෙල්ල ඉස්කෝලේ ඇරී එතනට එන නිසාය.

ටවුන් හෝල් එක අමුතුම තැනකි. විවිධ  පාසැල් වල කෙල්ලන්ද ටවුන් හෝල් එකට විත්, එතැනින් තම ගමනාන්තයට යන අතර, තවෙකෙකු boyfriend හම්බවෙන්නේ එතැනදී ය. එතැනින් බස් එකට නැගී අන්තිම පේලියේ love corner එකේ ලව් කරමින් ගමන් කිරීම සුලබ දසුනකි. කොල්ලෝ වේලපහම විත් "ලගා ගසමින්" සිටින්නේ තමන්ගේ කෙල්ලට වෙන එකෙක් බැල්ම දායි යන බයටය. එලෙස පැණි හලපු එවුන් එක්ක යාළුවන් ඇදගත්ත වලිවලට නාලකයා ඕන තරම් බැස ඇත. එවැනි වලි වල ඉවරයක් නැත. සෙට් එකේ එකෙකුගේ කෙල්ලෙකුට වෙන එකෙක් "ටෝක්" කලොත් ඌට නැව් ගුටිය. ඌ ඉන්පසු උගේ සෙට් එකත් එක්කගෙන ඇවිත් රිටර්න් එක දෙයි. එනමුත් අපේ සෙට් එක "ඒකාබද්ධ පොදු පාසැල් පෙරමුණ" ක් වීමෙන් කණ්ඩායම විශාලය. එනිසාම එකෙක්වත් සද්ද දාන්න බයය. හැබැයි තනියෙන් රඟන්න ගොස් අපේ උන්ද අම්බානකට කාපු කේස් කීපයක්ද නැතුවාම නොවේ.

තරුණ වයසේ කොල්ලෙක් අඩු වැඩි වශයෙන් හොරෙන් ඔය හැම ජාතියක්ම, එනම් සිකරට් එකක් බීම, අරක්කු ටිකක් බීම, ජොයින්ට් එකක් ඇදීම කර නැතිනම් ඌ එක්කෝ සමනළයෙකි. නැතහොත් පොත් ගුල්ලෙකි. ඒවා පුරුදු වශයෙන් නොකරන අතර තරුණ කාලේ "සොමියට" කලා පමණි. දිගටම කලේ නම් ඌ කාලකන්නියෙකි. අද වනවිට සමාජයේ ඉතාමත් ඉහල තලයේ වැජඹෙන නාලකයාගේ පාසැල් සගයන්, වෙනත් පාසැල් වල සම වයසේ උන්ගේ මෙවැනි ක්‍රියාකාරකම් ගැන නාලකයාට හොඳ මතකයක් තිබේ. එමෙන්ම, බුදුන් දෙසූ ලෙස "මැද මාවතේ" නොයා අන්තගාමී වී අවසානයේ තම ජීවිතයද අනාත කරගත් එවුන් ගැන නාලකයාට මතකය. 

පාරට විත් ඇවිදගෙන යන විට ඔෆිස් බෑගයක් එල්ලා ගත් කෙනෙකු පිටුපසින් විත් "ගින්දර ටිකක් දෙනවද" කියා සිකරට්ටුවක්ද අතැතිව විමසීය. කොටා කිසි ඇහිල්ලක් බැලිල්ලක් නොමැතිව උරමින් සිටි ජොයින්ට් එක පෑවේය. එය අතට ගත් ඔහු තම සිකරට් එක නොදල්වා අප දෙසට සෘජුවම දෑස් යොමුකරමින්, "ඉස්කෝලේ යන ළමයි නේද තමුසෙලා?, මෙහෙමද හැසිරෙන්නේ?, තමුන්ලගේ දෙමව්පියන්ට් මේවා දැනුම් දෙන්න ඕනේ?" යැයි ගෝරනාඩු කළේය. "අරක්කු ටිකක් බිව්වා නම් කමක් නැහැ. ඒක කොලු කමට කළා කියන්න පුළුවන්. ඒත් ගංජා ගහන එක කොහොමද අනුමත කරන්නේ? මෙහෙමත් කාලකන්ණි යක්කු" යැයි දිගටම බැනගෙන ගියේය. 

කොටා සැනෙකින් ක්‍රියාත්මක විය. "හලෝ අංකල් ඔහේ වරද කරලා අපට සද්දේ දාන්න එපා හලෝ" ලෙස බෝලය අංකල් දෙසට පාස් කළේය. 

"මොනවද ඕයි මම කල වරද?" අංකල්ද වැඩේ අතාරින්නෙ නැත. 

එහෙනම් අහගන්නවා කියා කොටා කතාව පටන් ගත්තේය. 

පලවෙනි වරද අංකල් දැන් අන්තිමට කලේ. ඒ මිනිසුන්ට කතා කරන්න දන්නේ නැති කම. කාට වුනත් ගරු කරලා කතා කරන්න කියලා අංකල් ඉගෙනගෙන නැද්ද? අපි හැදෙන්නෙත් ඔයාලා දිහා බලලා නෙමෙයිද? දැන් අපි වැරදි පූර්වාදර්ශයක්නේ ගත්තේ. ඒකම වරදක් නෙමෙයිද?

දෙවෙනි එක ඊට වඩා බරපතලයි. ඔයාට දැනුනානම් අපි ඉස්කෝලේ යන ළමයි කියලා මුලින්ම ඒක නිවැරදි කරගන්න. අපි විභාගේ ලියලා ඉස්කෝලෙන් අවුට් වෙලා ඉන්නේ. ඒත් ඔයා වැරදියි. මොකෝ තාමත් ළමයි වගේ පේනවානම්, එහෙම අයගෙන් සිකරට් පත්තු කරන්න ගින්දර ඉල්ලපු එක. ඔයා වැඩිහිටියෙක් නම් කරන්න තිබුණේ අපිට කණට දෙකක් දී කරපු වැඩේ බලපතලකම පහදලා දෙන එක නෙමෙයිද? ඔයා කලේ ඔයාගේ වාසියට සිකරට් පත්තු කරන්න අපෙන් ගින්දර ඉල්ලපු එක. ඒක ජොයින්ට් එකක් උන නිසානේ ඔයා මේ සද්ද දාන්නේ. හැබැයි ඒක ජොයින්ට් එකක් නොවී සිකරට් එකක් උනානම් ඔයාගේ සිකරට් එක පත්තු කරගෙන සද්ද නැතුව යනවනේ. ඒකත් වරදක්නේ අංකල්. දරුවෙක් කල වරදක් දුටුවිට නොදැක්කා සේ සිටීම. දැන් ලොකුම වරද කලේ අපිද? අංකල්ද? අනික ගංජා ගහන එක ලොකු වරදක්, අරක්කු බොන එක පොඩි වරදක් උනේ කොහොමද?" "දෙකම වැරදියි නේද?"

අංකල් රැස් බැස, සද්ද අඩුවී, සුදුමැලිවී හෙමීට එතනින් මාරුවීමට යනවිට, පාර හරස් කරගත් කොටා "අංකල් අපි දෙමව්පියන්ට බරක් නොවී, අඩු ආදායමෙන් ජීවිතය සැපවත් කරගන්නා ළමයි" ලෙස දිගටම කියවාගෙන ගියේය. දැන් බලන්න අපි මෙතන අට දෙනෙක් ඉන්නවා. එකෙකුට ෂොට් එක ගානේ ගහන්නත් අරක්කු බෝතලයක් ඕනේ. ඒකත් බිව්වට දැනෙන්නේවත් නැහැනේ. බෝතලයක් ගැන කීයද? රුපියල් 75 යි. එතකොට දැන් මේ ජොයින්ට් එක කීයද? රුපියල් 5 යි. එක ජොයින්ට් එකෙන් සේරමලා "පුක්" නේ අංකල්. ඒකම මදිද අපි දෙමව්පියන්ගේ සල්ලි නාස්ති නොකර අඩු මිලට වැඩි සැප ගන්නවා කියන්න ..... 

කතාව ඉවර කරනකොට අංකල්  හැටට හැටේ මාරුවෙනවා දුටුවත්, ඉන් එහාට කිසිවක් නොකී කොටා, "අඩෝ එහෙමයි ගේමක් බැලන්ස් කරන්නේ" කියමින් අපටද ලොකු ලයින් එකක් දැම්මේය. දෙවන වර කෙසේ හෝ උසස් පෙළ ගොඩ දාගත් "කොටා" අද වන විට ලංකාවේ කීර්තිමත් නීතීඥයෙකි.